ඉබෝලා වෛරසය පිළිබදව දැනුවත් වෙමු....!


ලෝකය ත්‍රස්‌ත කළ මරණයේ දූතිකාව....

බටහිර අප්‍රිකාව ගිනි ඇවිලී තිබේ. 1976 පටන් එම කලාපය විටින් විට මරණ භයින් සලිත කළ ඉබෝලා වයිරසය මෙවර තම මානව බිලිගැනීම්, ඉතිහාසයේ කවර දිනක වත් නො වූ තරම් ඉහළ අගයකින් සනිටුහන් කර තිබේ. පසුගිය සතිය වන විට එය බිලිගත් ජීවිත සංඛ්‍යාව දහසකට ආසන්න වී තිබිණි. ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය 8 වැනි දා අන්තර්ජාතික අවධානය යොමු විය යුතු මහජන සෞඛ්‍ය අවදානමක්‌ ප්‍රකාශයට පත් කළේ වයිරසයේ පැතිර යැම තවදුරටත් පාලනය කළ නොහැකි මට්‌ටමකට එළඹීම නිසා ය. මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය මේ අවදානම් තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළේ කුරුලු උණ හා පෝලියෝ පැතිර යැම සම්බන්ධයෙන් පමණි. තවමත් නිසි ෙඖෂධීය ප්‍රතිකර්මයක්‌ සොයාගැනීමට නොහැකි ව ඇති ඉබෝලා වයිරසය තම රටවලට ඇතුළු වීම වළක්‌වාගැනීම සඳහා දැන් සැම රටක්‌ ම පාහේ තම ගුවන්තොටුපළවල වැට කඩොලු තර කර තිබේ.




















































පසුගිය දශක හතර පුරා කොංගෝව, සුඩානය, ගැබොන්, උගන්ඩා ආදී බටහිර අප්‍රිකානු රටවල ජීවිත සිය ගණනින් විනාශ කරමින් පැතිර ගිය ඉබෝලාව මෙවර ප්‍රථම වරට වාර්තා වන්නේ ගිනියාවෙනි. ඒ පසුගිය මාර්තු 25 වැනිදා ය. කෙමෙන් කෙමෙන් ආසාදිතයන් ගණන ඉහළ ගිය අතර එය ඉබෝලා වයිරසයේ Zaire ප්‍රභේදය බව හඳුනා ගැනිණි. බීමට පවා වතුර සුලබ නො වන පහළ ජීවන මට්‌ටමක දුෂ්කර ජීවිත ගත කරන ජනතාවට සනීපාරක්‌ෂාවට දිය හැකි ප්‍රමුඛත්වය අවම මට්‌ටමක වීම මේ වයිරසය වේගයෙන් පැතිර යැමට ප්‍රධාන හේතුව විය. රෝගී වූවන් වහා හඳුනාගැනීම ප්‍රමාද වීම හා රෝගී වූවන් අන්‍යයන් ගෙන් වෙන් කොට තැබීමට පහසුකම් මේ දුෂ්කර ප්‍රදේශවල නො තිබීම ද රෝගය වැඩි වැඩියෙන් ව්‍යාප්ත වීමට හේතු සාධක වී තිබිණි. අප්‍රේල් 23 වන විට ගිනියාවෙහි රෝගය ආසාදනය වූවන් 242 අතරින් 142ක්‌ මිය ගොස්‌ තිබිණි. ඊළ`ග මාස කිහිපය තුළ පළමුව සියෙරා ලියොනයට රෝගය පැතිර ගිය අතර ඉන්පසු ලයිබීරියාවෙන් ද, නයිජීරියාවෙන් ද රෝගීන් වාර්තා විය. පසුගිය 8 වැනි දා වන විට ගිනියාවෙහි වාර්තා වූ රෝගීන් 495 දෙනකු ගෙන් 367 දෙනකු මිය ගොස්‌ සිටි අතර ලයිබීරියාහි 554 දෙනකු ගෙන් 294ක්‌ ද, සියරා ලියොනයේ 717කින් 298ක්‌ ද, නයිජීරියාවේ 13 දෙනකු ගෙන් දෙදෙනකු ද මිය ගොස්‌ තිබිණි. 1779ක්‌ වූ සමස්‌ත ආසාදිතයන් ගෙන් 961 දෙනකු මිය යමින් වයිරසයේ මරණීය ප්‍රතිශතය 54% ලෙස සටහන් විය.

ඉබෝලා වයිරසය මුලින් ම මිනිසාට බෝ වන්නට ඇත්තේ එම වයිරසයෙන් ආසාදිත වූ සතකු ගේ ශරීර තරල හා ස්‌පර්ශ වීමෙන් යෑයි සැලකේ. වාතය හරහා පැතිරී නො යන මේ වයිරසය මිනිසුන් අතර ද පැතිර යන්නේ රෝගියකු ගේ ශරීර තරල සෘජු ව හෝ ද්වීතීයික ව (රෝගියා නික්‌ම ගිය පසු එම පරිසරයේ රැ`දී තිබෙන ශරීර තරලවලින්) හෝ ස්‌පර්ශ වීමෙනි. ආසාදිතයකු ගේ රුධිරය, කෙළ, ශුක්‍ර, වමනය, මුත්‍ර ආදි ස්‍රාවයන්ට නිරාවරණය වීමෙන් නීරෝගී පුද්ගලයකු ආසාදනය වීම සිදු වේ. ඉබෝලා වයිරසය නිසා ආසාදිතයා රක්‌තපාත උණ තත්ත්වයකට ගොදුරු වන අතර අභ්‍යන්තර ශරීර අවයවවලට හානි පැමිණීම සිදු වෙයි.
























ශරීරය දුර්වල වීම, මාංශපේශි වේදනාව, හිසරදය හා උගුර රිදීම ඉබෝලා ආසාදනයේ පූර්ව රෝග ලක්‌ෂණ වෙයි. පසුව එය වමනය, විජලනය, වකුගඩු හා අක්‌මාවේ ක්‍රියාකාරීත්වය අඩු වීම අදියට මෙන්ම සමහර විට අභ්‍යන්තර සහ බාහිර ලේ ගැලීම් තත්ත්වයන්ට පවා වර්ධනය වෙයි.

ඉබෝලාවෙන් ආසාදනය වූ පුද්ගලයකු තුළ මුල්වරට රෝග ලක්‌ෂණ පහළ වීමට දින දෙකේ සිට දින විසි එකක්‌ වැනි කාලයක්‌ ගත වෙයි. මේ රෝග ලක්‌ෂණ මැලේරියාව, ටයිපොයිඩ් උණ ආදී වෙනත් රෝග සඳහා ද සමපාත වේ. රෝගය වැළ`දී ඇති බවට නිවැරැදි ව තහවුරු කරගත හැක්‌කේ එකිනෙකට වෙනස්‌ රසායනාගාර පරීක්‌ෂණ 5ක්‌ හරහා රුධිර සාම්පල පරීක්‌ෂා කිරීමෙනි.

වෛද්‍ය විද්‍යාව නූතන තාක්‌ෂණයේ අතිනත ගෙන විස්‌මයජනක පෙළහර පාන්නට සමත් ව ඇතැයි කියන නමුදු දශක 4ක්‌ පුරා බටහිර අප්‍රිකාව තුළ මතු වෙමින් නැති වෙමින් පැවැති මේ වයිරසයට නිසි එන්නතක්‌ සොයාගැනීමට ලොව පුරා කිසිදු විද්‍යාඥයකු මෙතෙක්‌ පොහොසත් වී නැත. රෝගය වැළඳුණ පුද්ගලයන්ට කරන එක ම ප්‍රතිකර්මය නම් ඔවුන්ව අවට පරිසරයෙන් වෙන් කොට තබාගනිමින් ඔවුන් ගේ ශරීර තුළ වයිරසයේ ආසාදන ක්‍රියාවලිය අවම කිරීමට කටයුතු කිරීමයි. රෝගය සමග දුබලතාවට පත් වන අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි ක්‍රියාකාරීත්වයට උපකාර කිරීමෙන් හා විජලනයට ලක්‌ වීමට ඉඩ නො දීමෙන් ශරීරයට ස්‌වාභාවිකව ම වයිරසය හා සටන් වැදීමට ඇති හැකියාවට වැඩි අවස්‌ථාවක්‌ ලබා දීම මෙහි දී සිදු කෙරෙයි.





























ඉබෝලාවට එරෙහි ව ජාත්‍යන්තර මට්‌ටමින් මේ වන විට ගෙන යන සටනට බොහෝ පාර්ශ්වකරුවෝ දායකත්වය ලබා දෙමින් සිටිති. Doctors Without Borders (MSF) රතු කුරුස සංගමය ආදී ස්‌වේච්ඡා සංවිධාන මුල පටන් ම රෝගීන්ට ප්‍රතිකාර කරමින් රෝගය පැතිර යැම වළක්‌වාගැනීමට කටයුතු කරමින් සිටියි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ රෝගය පිළිබඳ දැනුවත් ව පූර්ව ආරක්‌ෂණ ක්‍රියාමාර්ග ගැනීමෙන් රෝගය පැතිරී යැම වළක්‌වා ගත හැකි බවයි. වයිරසය වැළඳී තිබිය හැකි සතුන් සහ මිනිසුන් සමග කටයුතු කිරීමේ දී හා ප්‍රතිකාර කිරීමේ දී මුකවාඩම්, අත් ආවරණ, ශරීරාවරණ ආදිය පැළඳගෙන කටයුතු කිරීම ද මස්‌වර්ග හොඳින් පිස ආහාරයට ගැනීම ද ආසාදනයෙන් මිය ගිය පුද්ගලයන් හා සතුන් ගේ මෘත ශරීර ආරක්‌ෂාකාරීව භූමදානය කිරීම ද මේ අතර වෙයි. රෝගය පැතිර ගිය රටවලින් ශ්‍රී ලංකාවට සංචාරකයන් ගේ පැමිණීම අවම වන බැවින් අපේ රටට රෝගය පැතිර යැමේ අවදානම ඉතා අඩු මට්‌ටමක පවතී. කෙසේ වෙතත් එබඳු අවස්‌ථාවක දී නිසි සෞඛ්‍ය ආරක්‌ෂණ පිළිවෙත් අනුගමනය කිරීමේ ක්‍රමවේදයක්‌ සැකසීමට මේ වන විට සෞඛ්‍ය බලධාරීන් කටයුතු යොදා තිබේ. කටුනායක ගුවන් තොටුපළෙහි පැය 24 ම ක්‍රියාත්මක හඳුනාගැනීමේ මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවනවාට අමතරව ලයිබීරියාවේ සිටින ගණනින් 200ක්‌ පමණ වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකා රජය පසුගිය දා ප්‍රකාශ කර තිබිණි.






-Special Thanks to Nethmi Priyanga -


3 Comments

Anonymous said…
වටිනා පෝස්ට් එකක් යාලු.
Unknown said…
මල්ලියා වටින පෝස්ට් එකක් නොදන්න කෙනෙක් බලල තේරැම් ගනී නියමයි ඈ..
Unknown said…
නියමයි මල්ලියා...
Previous Post Next Post